කල්ලතෝනි හංවඩුව ගැසූවන්ට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදෙන හදිසි මරණ පරීක්ෂකවරියක්

0

අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ අඩ සියවසකට ආසන්න කාලය තුලදී සෝනියා බර්මියුඩේස්ගේ හිතට වද දුන් එක් දුක්මුසු කාරණයක් වූයේ, මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට වත්කමක් ඇති පවුල්වලට සාපේක්ෂව එසේ කිරීමට වත්කමක් නොමැති පවුල්වලට වෙනස්කම් පෑ ආකාරය යි.

එබැවින්, ජාතිය-ජන්මය හෝ ඔවුන්ගේ ආදරණීයයන්ට මුදල් හදල් ඇතිද නැතිද යන්න නොතකා, දුගී-දුප්පත් මෙන්ම ඉහළ අවදානමකට ලක්ව සිටින මිනිසුන් ගෞරවාන්විත අවසානයකට හිමිකම් කියන වගට සහතික කෙරෙන, ලාභ-නොලබන සංවිධානයක් අරඹමින් මෙකී වෙන්කොට සැලකීම මුලිනුපුටා දැමීමට ඇය අඩිතාලමක් දැමුවා ය.

1996 දී ඇරඹි මෙම සංවිධානය නම් කරනු ලැබුවේ “Gente Como Uno” එසේත් නැතිනම් “අප වැනි මිනිසුන්” යන නමිනි. එය ආරම්හ කෙරුණේ 50 වසරක් දිගු, ලේ වැකුණු සන්නද්ධ අරගලයක පැටලී සිටි කොලොම්බියාවේ මියගියවුන් වෙනුවෙන් අවමංගල්‍ය කටයුතු සිදු නොකෙරෙන මට්ටමට පත්ව සිටි කාලවකවානුවක ය.

සංවිධානය විසින් අත්පත් කරගන්නා ලද සුසාන භුමියේ මේ වනවිට- කුසගින්න සහ අනාරක්ෂාව නිසා උන්හිටි තැන් දමා ඒමට සිදුවූ, ජීවිත පරිස්සම සොයා ගිය ගමනේ දී ජිවිතයෙන් වන්දි ගෙවූ සරණාගත සහ සංක්‍රමණික වෙනිසියුලානුවන්, බිම්කඩවල් 300කට වැඩි ප්‍රමාණයක සමාදානයෙන් සැතපී සිටියි.

“දේශ සීමාව පැන්නට පස්සේ මේ මිනිස්සු ඉන්න විදිය දැක්කම පුදුම දුකක් ඇතිවෙනවා,” වෙනිසියුලාවට මායිම්ව කොලොම්බියාවේ ඊසාන දිගට වන්නට පිහිටි නගරයක් වන රියෝහචා හි වෛද්‍ය පරීක්ෂක කාර්යාලයේ වසර 46ක සේවයෙන් පසුව විශ්‍රාම ගිය අභ්‍යාසලාභී හදිසි මරණ පරීක්ෂකවරිය සෝනියා කියා සිටින්නීය.

මෑත වසරවලදී වෙනිසියුලානු සරණාගතයන් සහ සංක්‍රමණිකයන් මිලියන 1.7ක් පමණ කොලොම්බියාවේ සරණ පතා පැමිණ ඇතැයි ගණන් බලා තිබේ. තවත් දහස් ගණනක් ඉක්වදෝරය, පේරු සහ චිලී වෙත යාමට රට මැදින් බොහෝ විට පයින් ඉතා අවදානම් සහගත ගමනක නිරත වන්නෝය. ඔවුන් සියලු දෙනා ගමනාන්තය කරා ළඟා වන්නේ ද නැත.

රටින් පලා ගිය වෙනිසියුලානුවන් කොපමණ සංඛ්‍යාවක් එතෙර දී මියගොස් ඇතිද යන්න පිළිබඳ කිසිදු තක්සේරුවක් නොමැති අතර අධිවේගී මාර්ග දිගේ හෙම්බත්ව, ගාටමින් පැමිණි මිනිසුන් වාහනවලින් හප්පාගෙන ගිය හෝ ගමන අතරතුර දී රෝගාතුර වීම් හෝ අධික වෙහෙසින් පීඩා විඳීම් වැනි ඛේදජනක කතාන්දර නිරන්තරයෙන් අසන්නට ලැබේ.

සෝනියා මුලින් එක් පවුලකට උපකාර කළා ය. පුණ්‍යායතනයට අයත් සුසාන භූමියේ සිය ආදරණීයයා මිහිදන් කිරීමට ඉඩ සලසා දෙමින් “ඔවුන්ට සමාදානය වගේම ශාන්තිය සලසා දුන්නා,” යි සෝනියා පවසන්නී ය.

දෙලක්ෂයකට ආසන්න ජනතාවක් සිටින රියෝහචා හි වෙසෙන වෙනිසියුලානු ප්‍රජාවේ මරණයක් සිදු වූ විට වියෝවෙන් දුකට පත් පවුල, යහළුවන් පමණක් නොව මියගිය පුද්ගලයාගේ ආගන්තුක ගමන් සගයා පවා දැන් සෝනියාගේ උපකාරය ලබා ගන්න හැටි දනී.

මියගියවුන් සමහරකගේ කතා ඇගේ මතකයේ රැඳී තිබෙයි. වෙනිසියුලානු මවක සහ ඇගේ වැඩිමහල් පුත්‍රයාගේ මරණය ගැන මතකය ඒ අතර වෙයි. දැරිය නොහැකි පීඩාව නිසා ඇතිවූ හෘදයාබාධයකින් එම මව මිය ගොස් තිබුණි. එයින් කම්පාවට පත් ඇගේ පුත්‍රයා වැඩි කල් නොගොස් සියදිවි තොර කර ගත්තේ ය. ඔවුන් දෙදෙනාම මිහිදන් කෙරුණේ සෝනියාගේ සුසාන භුමියේ ය.

“මට එයාලා කවදාවත් අමතක වෙන්නේ නෑ,” සෝනියා කියන්නී ය. “ඒ කතාව මට ලොකු බලපෑමක් ඇති කළා.”

“කල්ලතෝනි” යයි හංවඩු ගැසූ – කිසිවෙක් අයිතිවාසිකම් නොකියන, හඳුනා නොගත් මළ සිරුරු වළ දැමීමට ඉඩක් ඉතුරු වී නැතැයි රියෝහචා හි බලධාරීන් විසින් සෝනියාට දැන්වූ පසු, එනම් වසර 25කට පෙර “අපි වැනි මිනිසුන්” සංවිධානය ආරම්භ කෙරුණි.

සෝනියා බලධාරීන්ගේ කීම පහසුවෙන් පිළිනොගත්තා ය. සිය ව්‍යාපෘතිය පණ ගැන්වීම සඳහා නගරයෙන් පිටත හෙක්ටයාර් 5.5ක බ්ම් කොටසක් ලැබෙන තෙක්ම ඇය නගරසභා බලධාරීන්ට කරදර කළා ය.

“මියගියවුන් අනුකම්පාව ඉල්ලා හිටිනවා, ඔවුන් උපකාර අයැද හිටිනවා,” සෝනියා කියන්නී ය. මියගිය තැනැත්තන් කෙරෙහි ඇයගේ සහකම්පනය කෙතරම් දැඩි වී ද යත් තමන්ගේ උපකාරයෙන් මිහිදන් කළ පුද්ගලයන් “මගේ මළවුන්” යනුවෙන් හැඳින්වීම ඇයට පුරුද්දක් වී ඇත.

“අපි වැනි මිනිසුන්” සංවිධානයේ ක්‍රියාකාරිත්වය භාවාත්මකව මෙන්ම මුල්‍යමය අතින් ද ක්‍රමයෙන් පල්ලම් බසින බව සෝනියා කියයි. එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශය ඇතුළු සංවිධානවලින් ආධාර ලැබුණත්, මෙම කුඩා මට්ටමේ රාජ්‍ය නොවන සංවිධානයේ වියහියදම් බොහෝ විට සීමාව ඉක්මවා යන බැවින් උවමනා අවස්ථාවක දී මළවුන් මිහිදන් කිරීම සඳහා උපකාර කිරීමට තමන්ගේම පොකැට්ටුවට බැසීමට ඇයට සිදු වෙයි.

ඒ කොහොම නමුත්, දුප්පතුන් සහ ඉහල අවදානමකට ලක්වී සිටින පුද්ගලයන්ගේ ජාතිය හෝ නෛතික තත්වය නොතකමින්, ඔවුන්ගේ අවසන් කටයුතු ගෞරවාන්විත ලෙස සිදු කිරීමේ සිය මෙහෙවර කෙරෙහි සෝනියා තවමත් නොපසුබටව, ඇප කැපවී සිටින්නී ය.

“තම ආදරණියයාට ගෞරවාන්විත සමුදීමක් පිරිනමන්න උපකාර ගන්න බැරි පවුලක කම්පනය ගැන නිකමට හිතලා බලන්න,” ඇය කියයි. මෙම කම්පනය පසුකාලීනව සමාජ ගැටලුවකට තුඩු දිය හැකි කරුණක් බව ඇය පෙන්වා දෙයි. “සාමය ගොඩනගන්න මට කරන්න පුළුවන් ලොකුම දේ විදියට මම දකින්නේ මේ අවදානමට ලක්වූ පිරිසට උපකාර කරන එක.”

සටහන: ඇන්ජෙලා එම්. මෙන්දේස්-ට්‍රිවිනෝ

රියෝහචා, කොලොම්බියා

පරිවර්තනය : අභිෂේකා වාසල බණ්ඩාර

Facebook Comments