ඝාතකයන් නිදහසේ ඉන්නා ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පහල තැනක

0

මාධ්‍යවේදීන්ගේ ඝාතකයන් දඬුවම් නොලබා දිගටම ගැලවී සිටීම ශ්‍රී ලංකාවේ මාධ්‍යයේ නිදහසට ඇති ප්‍රධානම බාධකයක් ලෙස ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී ඉන්නා සංවිධානයක් මැයි 3 දාට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය නිදහසේ දිනයේ ලෝකවාසීන්ගේ අවධානයට යොමුකර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ හවුල්කාර සංවිධානය වන දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) විසින් රටවල් 180 ක් ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණයකින් එළි දක්වා ඇති දර්ශකයක ශ්‍රී ලංකාව ගිය අවුරුද්දේ මෙන්ම මේ අවුරුද්දේත් සිටින්නේ 127 වැනි ස්ථානයේ රතු කලාපයෙයි.

ඉකුත් දශක දෙක තුල මරා දමන ලද හෝ අතුරුදහන් කරන ලද මාධ්‍යවේදීන් හා මාධ්‍ය ශ්‍රමිකයන් සංඛ්‍යාව අඩුම වශයෙන් 44ක් වන බවට JDS විසින් රැස්කළ තොරතුරු උපුටා දක්වන RSF අවධාරණය කරන්නේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩතාවලට සලසා දී ඇති දණ්ඩ මුක්තිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට මහත්ම බාධාවක් බවයි.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග කඩාපැනීම්, ප්‍රශ්න කිරීම් සහ බියවැද්දීම් ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහිව විවිධාකාර හේතු දක්වමින් පොලිසිය කරන හිරිහැර රැල්ලක් නැගී ආ බව RSF සංවිධානය පවසයි.

“සිවිල් යුද්ධයේ අවසානය සහ දෙමළ කැරැල්ල පොඩිපට්ටම් කර දැමීමේ දසවැනි වර්ෂ පූර්ණ සංවත්සරය එළැඹෙන 2019 දී ශ්‍රී ලංකාවේ දෙමළ සුලුතරයට සම්බන්ධ සිද්ධි වාර්තා කරන මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර වැඩිවීමක් දකින්නට ලැබුණි,” යි පවසන RSF, කිහිප දෙනකුට 2020 දී බරපතල මරණ තර්ජන එල්ලවූ බවත් සඳහන් කරයි.

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ දී TID විසින් අත්අඩංගුවට ගත් Battinews.com ඡායාරූප ශිල්පී මාධ්‍යවේදී මුරුගුපිල්ලේ ගෝකුලදාසන් හෙවත් ගෝකුලන් තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.

ඒ මාසයේම මුලතිව්හි වන විනාශයක් හෙළි කළ ෂන්මුගම් තවසීලන් සහ කනපතිපිල්ලේ කුමනන් මාධ්‍යවේදීන් කැලෑ කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ගොදුරුවූ අතර අපරාධකරුවන් පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ රැකවරණ ලබන බවට ප්‍රදේශවාසීන් විසින් තොරතුරු දක්වා තිබුණි.

උතුරු හා නැගෙනහිර මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව උද්ඝෝෂණයේ යෙදෙමින් නැගෙනහිර සිට උතුර දක්වා පැමිණි P2P පාද යාත්‍රාවෙන් පසුව, මඩකලපුවේ හිටපු සිරස මාධ්‍යවේදී පුණ්‍යමුර්ති ශෂිකරන් පොලීසිය විසින් තර්ජනයෙන් බිය ගන්වා තිබුණි.

යාපනය නගරයේ සිට පවත්වාගෙන ‘ටියුබ් ටැමිල්’ යූ ටියුබ් නාලිකාවේ මුහුන්දන් ඩිවන්යා සහ විමල් රාජ් ත්‍රස්ත මර්දන පොලිසිය විසින් මේ අවුරුද්දේ අත් අඩංගුවට ගෙන මාසයකට වැඩි කාලයක් ගතවී ඇත.

පිළිස්සීම ඇතුළු වධ හිංසාවලට මාර්තු මාසයේදී ගොදුරු වූ මාධ්‍යවේදී සුජීව ගමගේ ලබා දුන් කට උත්තරයක් බලහත්කාරයෙන් වෙනස් කොට අපරාධකරුවන් ගලවා ගැනීමට උත්සාහ දරන බවට පොලිසියට චෝදනා එල්ල වී තිබේ.

2021 RSF ජාත්‍යන්තර දර්ශකය අනුව මාධ්‍යවේදීන්ට වැඩිම නිදහසක් ඇත්තේ නෝර්වේ රාජ්‍යයේය. අන්තිම පහලට වැටී සිටින්නේ උතුරු කොරියාවයි.

Facebook Comments

wedding people