කැස්බෑවුන් මිය යන්නේ “පර්ල් නැවේ කෙමිකල් වලින් නොවේ” (VIDEO)

0

ලංකාවේ මත්ස්‍ය සම්පත විනාශ වන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් රසායනික ද්‍රව්‍ය කාන්දු වීමෙන් නොව ආණ්ඩුව විසින් රට වටේම මුහුදට හරවා ඇති කුණු කානු පද්ධතිය නිසා යැයි ධිවර සංගම් නියෝජිතයෝ චෝදනා කරති.

සමස්ත ලංකා ධිවර ජනතා වෘත්තීය සංගමේ සභාපති අරුණ රොෂාන්ත කියා සිටියේ කැළණි ගඟට, දඩුගම් ඔයට, මුතුරාජ වෙළට හරවා ඇති කුණු කානු පද්ධති ඇතුළු රටපුරා ඇති කානු පද්ධති වල සියලු අපද්‍රව්‍ය වැටෙනුයේ මුහුදට වුවත් ඊට පිළියම් යෙදීමට ආණ්ඩුව අසමත් බවය.

සිංගප්පුරු සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ඇතුල්වීම සඳහා ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබියදී ඉකුත් ජූනි මාසයේ දිනෙක ගිණි බත් විය. ඒ ආසන්න දිනෙක මීගමුව පුරවැසි එකමුතුව නිවේදනයක් මගින් කියා සිටියේ නැවේ ප්‍රවාහනය කරමින් තිබු බහලුම් වල පරිසරයට මිනිස් ජිවිතයට මෙන්ම සාගර ජීවීන්ට මත්ස්‍යන්ට හා ජලජ ශාක වලට අතිශයින්ම අහිතකර අම්ල, රසායනික ද්‍රව්‍ය සහ ගින්නෙන් දැවී ගිය විවිධ කොටස් මුහුදට එක්වීම නිසා වචනයෙන් විස්තර කළ නොහැකි තරම් පාරසරික විනාශයක් සිදුවෙමින් පවතින බවට සිය සංවිධානය තහවුරු කරන බවය.

‘මාධ්‍ය කියන විදිහට පර්ල් නැවෙන් රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වුනා නම් මිය ගිය මසුන් දහස් ගණනින් මිගමුව හලාවත වෙරළ තීරයට ගොඩ ගහන්න ඕනෑ,” යයි කොළඹ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ ජුලි 21 පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අරුණ රොෂාන්ත කියා සිටියේය.

“කැස්බෑවන් බොහෝ විට මිය යන්නේ ධීවරයන් විසින් එළන දැල් වලට හසුවිමෙන් වගේම වාරකන් සමයේ මිය යන කැස්බෑවුන් වෙරළට ගොඩ ගැසීමෙන්. එසේ නොමැතිව රසායනික ද්‍රව්‍ය හේතුවෙන් කැස්බෑවුන් මිය යනවායි ධීවරයෙක් විදිහට මම විශ්වාස කරන්නෙ නැහැ. පර්ල් නැවෙන් රසායනික ද්‍රව්‍ය ආවට වඩා ආණ්ඩුව විසින් රසානික ද්‍රව්‍ය මුහුදට එක් කරලා තියෙනවා,” යි ධීවර නායකයා පැවසීය.

පෝර්ට් සිටි ඉදි කිරීමෙන් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත් වීමෙන් ද වඩාත් පිඩාවට පත් වුයේ මෙරට ලක්ෂ 2 කට වඩා සිටින ධීවර ප්‍රජාව අතරින් සුළු පන්න ධීවරයා බව සඳහන් කරන ධිවර සංගම් සභාපති අරුණ රොෂාන්ත චෝදනා කරන්නේ සුළු පන්න ධීවරයා ගැන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවය.

“ආණ්ඩුවේ සෑම වැඩ පිලිවෙලකින්ම සුළු පන්න ධීවරයා නොසලකා හරිනවා . පර්ල් එක්ස්ප්‍රස් නැව ගිණි බත් වීමෙන් පසු ධිවර වන්දි ලබා දීමේදී පවා සුළු පන්න ධීවරයන්ට අසාධාරණයක් වුණා . පර්ල් නැවේ වන්දි වශයෙන් ආණ්ඩුව ඉල්ලු ඇමෙරිකානු ඩොලර් මිලියන 40 න් ඩෙලර් මිලියන 3.6 ක් ලැබී තිබෙනවා . සුළුපන්න කරුවන්ට දවසකට රුපියල් 1750ක් එක් දින යාත්‍රා ධීවරයන්ට රුපියල් 2000ක් වශයෙන් වන්දි යෝජනා කරලා විශාල බෝට්ටු තියෙන අයට දවසකට රුපියල් 8000 ක් මාදැල් ධීවරයන්ට දවසකට රුපියල් 6000 ක් වශයෙන් වන්දි ලබා දෙනවා ඒකත් දවස් දහයකට කියලා කියන්නේ.”

මෙසේ වන්දි ලබා දෙන්නේ ආණ්ඩුවේ හා කාදිනල්වරයාගේ නියෝජිතයන්ගේ වන්දි කමිටුවක් මගින් බැවින් සුළුපන්න ධීවරයාට ද යම් සාධාරණයක් ඉටුකරන්නට ආණ්ඩුව මෙන්ම කාදිනල්වරයා ද අවධානය යොමු කළ යුතු බැව් ධිවර සංගම් සභාපති මෙහිදී අවධාරණය කළේය.

නාවික හමුදා තහංචි

නෞකාව ගිණි බත් වීමේ ස්ථානයේ සිට කිලෝ මීටර් 16 ක වට ප්‍රමාණයක් ද මීගමුවේ සිට කොච්චිකඩේ දක්වා කිලෝමීටර් 6 ක් ද පානදුර දක්වා කිලෝ මීටර් 2 ක දුරක් මුහුද තහනම් කළාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම තවමත් ක්‍රියාත්මක බව පවසන ඔහු වැඩිදුරටත් සියා සිටියේ “බොහෝ අවස්ථා වල ඇතැම් තැන් වලදී නාවික හමුදාව ධීවරයන් පන්නා දමනවා,” යනුවෙනි.

Facebook Comments

wedding people