ශ්‍රී ලංකාවේ වෙන වෙන නීති පවත්වාගෙන යාමට ආණ්ඩුව එකඟයි

0

එක් රටක්- එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකාය රට වටා යද්දී මුස්ලිම්, උඩරට, තේසවලාමේ ඇතුළු සිංහල නොවන ප්‍රජා කණ්ඩායම් අනුගමනය කරන නීතිවල කිසිදු වෙනසක් සිදු නොකෙරෙන බව ඉස්ලාමීය රාජ්‍ය වලට රාජපක්‍ෂ ආණ්ඩුව සහතික වී තිබේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ, විදේශ ඇමැති ජී.එල් පීරිස් සංවිධානය කළ ඉස්ලාමීය රාජ්‍යවල දුත මණ්ඩල ප්‍රධානින් සඳහා වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී අනාවරණය කෙරුණු බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් මගින් කියා සිටී.

“සෑම ආගමක, ජන වර්ගයක හෝ ජාතියක සෑම පුද්ගලයෙකුටම කිසිදු භේදයකින් තොරව තම ආගම, සංස්කෘතිය සහ භාෂාව ප්‍රගුණ කරමින් තම අනන්‍යතාවය ප්‍රකාශ කිරීමේ නිදහස භුක්ති විඳීමට හැකි සමාජයක් ලෙස ශ්‍රී ලංකාව සිය සාරවත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන මුස්ලිම් නීතිය, උඩරට නීතිය සහ දමිළ ප්‍රජාවන්ට විශේෂිත වූ පුද්ගලික නීති ඇතුළත් සාරවත් වූත් විවිධ වූත් නීති සම්ප්‍රදාය තුළින් ද මෙය පිළිබිඹු වේ. එය ශ්‍රී ලංකාව විසින් අත් නොහැර පවත්වා ගෙන යනු ඇත,“යැයි විදේශ ඇමැති ජී ඇල් පීරිස් මෙහිදී කියා සිටියේය.

පසුගිය 30 වැනිදා කොළඹදී පැවති මෙම රාත්‍රී භෝජනයේදී, “මෑත වසරවල දී, ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම, විවිධ ආගම්වල නාමයෙන් අන්තවාදී කණ්ඩායම් නවීන සන්නිවේදන තාක්‍ෂණය අනිසි ලෙස භාවිතා කරමින්, සමාජ මාධ්‍ය වෙත අනවසරයෙන් ඇතුළුව සමාජ සංහිඳියාවට බාධා පමුනුවමින් ලංකාව තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කළ” බවද අමාත්‍යවරයා පවසා තිබේ.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ එවැනි වෛරී සහගත ප්‍රකාශ මැඩලීම සඳහා, ව්‍යවස්ථාදායකමය ක්‍රියාමාර්ග දියත් කර ඇති බවය.

ආගමික සහ සංස්කෘතික විවිධත්වය ශ්‍රී ලංකාවට ශක්තියක් වී ඇති බවත්, අන්තවාදී බලවේග විසින් පතුරුවා හරින ලද අසත්‍ය කරුණු බැහැර කිරීම මෙන්ම මුස්ලිම් ප්‍රජාව ගැන මෑත කාලීනව අනුගමනය කරන ලද අනෙකුත් ප්‍රගතිශීලී පියවර කෙරෙහි සිය විශ්වාසය පළ කළ බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඕමාන්, පලස්තීන, සෞදි අරාබිය, ඇෆ්ගනිස්ථාන, කටාර් සහ තුර්කි රටවල තානාපතිවරුන්, මැලේසියාව, මාලදිවයින්, බංග්ලාදේශ රටවල මහ කොමසාරිස්වරුන්, පාකිස්තාන වැඩ බලන මහ කොමසාරිස්වරයා, ලිබියානු, ඊජිප්තුවේ, කුවේට්, ඉරාන සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල කාර්ය භාර නිලධාරීන් ද, මිට එක් වූ බව විදේශ අමාත්‍යංශය පවසයි.

Facebook Comments

wedding people