සිංහලයන් පිරිසක් විමුක්ති කොටි කියා දිල්ලියේ නඩු වැටේ

0

ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුල එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවීමේ අරමුණින් පෝක් සමුද්‍ර සන්ධිය දෙපස නීතිවිරෝධි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට සිංහල, දෙමළ හා මුස්ලිම් ශ්‍රී ලාංකිකයන් ද ඇතුළු 13 දෙනෙකුට ඉන්දියාවේ ත්‍රස්ත මර්දන බලධාරීහු නඩු පැවරීමට පියවර ගනිමින් සිටිති.

ත්‍රස්ත විරෝධී නීතිය (Counter Terrorism Law) බලාත්මක කිරීමේ මධ්‍යම ඉන්දීය අධිකාරිය වන ජාතික විමර්ශන ඒජන්සිය (NIA) ජුනි 16 වැනිදා නිවේදනය කර තිබුනේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ය නැවත පණ ගැන්වීම සඳහා අරමුදල් සැපයීම, අවි එකතු කිරීම සහ ගබඩා කිරීම සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රයෝජනයට ගැනීමට විලින්ජම් අවි නඩුවේ විත්තිකරුවන් සමඟ එක්ව ‍ම‍ෙම ‍ච‍ෝදනාපත්‍ර ලැබූවන් කුමන්ත්‍රණය කර ඇති බවයි.

“මත්ද්‍රව්‍ය ජාවාරම හරහා එල්.ටී.ටී.ඊ ය නැවත නගාසිටුවීමට මුදල් ලබාදීමේ ඔවුන්ගේ කුමන්ත්‍රණය මෙම නඩුවේ විමර්ශනවලින් හෙළි වී තිබිණි.”

මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන ඇත්තේ පකිස්ථානයේ පදිංචිව සිටින බවට සැක කෙරෙන හාජි සලීම් නමැත්තෙකුගෙන් බව පවසන එම නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දී ඇත්තේ ම‍ෙම චූදිතයන් විසින් විවිධ විදේශීය වට්ස්ඇප් අංක භාවිත කරමින් ‍ම‍ෙම රහසිගත වෙළෙඳාම කරගෙන ගොස් ඇති බවයි.

NIA විසින් 2022 ජුලි 8 වන දින මෙම නඩුව ගොනු කර අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් 13 දෙනා අතර සී.ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා හෙවත් පෝකුට්ටි කන්නා, මෙහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ධනුක රොෂාන්, ලඩියා හෙවත් නලින් චතුරංග, වැල්ලේ සුරංග හෙවත් ගමගේ සුරංග ප්‍රදීප්, තිලීපන් හෙවත් දිලීපන් සහ ධනරත්න නිලුක්ෂාන් ශ්‍රී ලාංකිකයින් 10 දෙනා වෙති.

ඉන්දියානු ජාතිකයන් තිදෙනා වන්නේ ඒම්. සෙල්වකුමාර්, විග්නේෂ්වර පෙරුමාල් හෙවත් විකී සහ අයියාපන් නන්දු න‍ොහ‍ොත් අයියප්පන් නන්දු ය.

NIA විසින් 2022 ජුලි 8 වන දින මෙම නඩුව ගොනු කර තිබු නමුත් විකී සහ නන්දු මේ වසරේ අප්‍රේල් මාසයේදීත් අනෙක් අය 2022 දෙසැම්බර් මාසයේදීත් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ් ට්‍රිචි විශේෂ කඳවුරේදීය.

ම‍ෙම චූදිතයන් විසින් සිදුකරනු ලබන අපරාධ මගින් උපයන ආදායමෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇති බවයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පවසන්නේ.

චෝදනා ලැබුවන් සතුව තිබී සක්‍රිය කළ ඉන්දීය සිම් කාඩ්පත් සහිත ජංගම දුරකථන කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ ඩිජිටල් උපාංග, මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන, රුපියල් ලක්ෂ 80 ක මුදල් සහ රත්‍රන් බාර් 9 ක් ද විමර්ශනවලදී NIA භාරයට ගෙන ඇත.

මෙම මුදල් සහ රත්‍රන්, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් ඒවා වන අතර, චෙන්නායි සහ ශ්‍රී ලංකාව අතර පවත්නා හවාලා ජාලයන් හරහා ගෙන ‍ග‍ොස් ඇතැයි NIA චෝදනා කරයි.

ම‍ෙම චූදිතයන් විසින් ක්‍රිප්ටෝ මුදල් භාවිතා කරමින් සිදු කරන ලද ගනුදෙනු කිහිපයක් ද අනාවරණය වී ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන්ය.

2021 මාර්තු 7 වන දින ඉන්දීය මුහුදු සීමාවේදී, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට තවත් ශ්‍රී ලාංකිකයන් හය දෙනකු , ඔවුන් ගමන් කළ ‘ආකර්ෂා දුව’ යාත්‍රාව සමඟ ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුනි.

මෙම හය දෙනාට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක හවුල්කරුවන් බවටත්, ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වූවන් බවටත් චෝදනා ඒල්ල වී තිබේ.

එම හයදෙනා වනුයේ තොඩුවාව, මහවැව පාරේ සුනිල් කුරේරා, තොඩුවාව කුඩාමුල්ලේ ඩබ්ලිව්. රනිල් ජයන්ත් ප්‍රනාන්දු හෙවත් රාජා, මහනුවර, මයිලපිටියේ චාමික ගමගේ දේශප්‍රිය හෙවත් කේ. එම් තාරක නිශාන්ත රූපසිංහ, හලාවත, ඉරණවිල මධුෂ ඩිල්ෂාන් ජයතිස්ස, ඩබ්ලිව්. නිපුන් සඳරුවන් සහ ඩබ්ලිව්.එම්. නිලත අරුණකුමාර බව ඉන්දීය උසාවි ලේඛන වල දැක්වේ.

විලින්ජම් අවි නඩුව ලෙස ඉන්දියාවේ ප්‍රකටව ඇත්තේ හෙරොයින් කිලෝග්‍රෑම් 300ක්, AK-47 රයිෆල් 5ක් සහ ජීව උණ්ඩ 100ක් සමග ලාංකිකයන් හය දෙනකු 2021 මාර්තු 18 දා අරාබි මුහුදේ විලින්ජම් වෙරල තීරයේදී අල්ලා ගනු ලැබීමෙන් අනතුරුව තමිල්නාඩුවේ සහ කේරලයේ දී තවත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දාමයයි.

එම සැකකරුවන් ද LTTE සංවිධානය නැවත නගා සිටුවීම සඳහා ඉරානයේ සහ පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ පටවන බවට NIA චෝදනා කරයි.

ඉන්දීය ත්‍රස්ත මර්දක බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද පිරිස සම්බන්ධයෙන් ගන්නා පියවර ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

Facebook Comments

wedding people