දේශබන්ධු තෙන්නකෝන් සිරකරුවකුට රෙදි ගලවා බැට දුන් බව සනාථ වේ

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩ බැලීම සඳහා පත් කර ඇති පොලිස්පති දහතුන් වසකරට ඉහත දී පුද්ගලයකුට ලිංගික හිංසන ඇතුළු වධ බන්ධන සිදු කළ කුරිරු ආකාරය සහ ඒ වෙනුවෙන් නිලධාරීන්ට අණ ලබා දුන් අයුරුත් අධිකරණ තීන්දුවක් මගින් හෙලි වී තිබේ.

හිටපු හමුදා සෙබළකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් සිදු කළ වදහිංසා තුලින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට පුද්ගලික මුදලින් වන්දි ගෙවන ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හමුදා නිලධාරියකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනකුට නියෝග කර ඇත. රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස රජයටද නියම වී තිබේ.

රාජ්‍යය වගකීම අනිවාර්යයෙන් භාරගත යුතු නමුත් වරදකාර නිලධාරීන් වෙනුවෙන් වන්දි ගෙවීම මහජනතාව මත පැටවීමට අධිකරණය කැමැත්තක් දක්වා නැත.

“ඔවුන්ගේ ඉපයීමේ බර අවුරුදු ගණනාවක් තිස්සේම දරා ඇති බදු ගෙවන්නා, ඔවුන්ගේ අපරාධවලටත් වන්දි ගෙවිය යුතුදැ,” යි ශ්‍රේෂ්ඨාධිකරණය විමසා ඇත.

විනිසුරු තුන් කට්ටුවක් විසින් 2023 දෙසැම්බර් 14 දා මෙම තීන්දුව ලබා දී ඇත්තේ හිටපු හමුදා සෙබල රංජිත් සුමංගල ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය.

ප්‍රියන්ත ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟතාවය සහතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෛරාජා විසින් නියෝග කර ඇත්තේ එවකට නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරීවරයා වූ දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ විශ්‍රාමික හමුදා සැරයන් මේජර් අජිත් වනසුන්දර යන අයට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් පෙත්සම්කරුට වන්දි ගෙවන ලෙසයි.

එම නියෝගයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත ද යොමු කරන ලෙසයි.

2010 වසරේ දෙසැම්බර් මස 18 වැනිදා හමුදා නිලධාරි අජිත් වනසුන්දර සමග ත්‍රීරෝද රථයකින් පැමිණි මිරිහාන පොලිසියේ සේවය කළ බණ්ඩාර සහ පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ යන නිලධාරීන් දෙදෙනා තමන් අත්අඩංගුවට ගෙන දඹර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකට රැගෙන ගිය බව පවසන පෙත්සම්කාර රංජිත් සුමංගල තමන් වධ බන්ධනයට ලක් කළ කුරිරු ආකාරය අධිකරණයට විස්තර කර තිබේ.

එහි සදහන් පරිදි පොලිස් නිලධාරීන් ඔහුට වධ හිංසා පමුණුවා ඇත්තේ දවසක් පුරා ආහාර පාන ලබා දීමකින්ද තොරවයි.

“ඇඳුම් වේලා ගත්තට පසු නැවතත් අර බිල්ඩිමට රැගෙන ගිහින් මාන්චු දාලා මේසවල් යට වාඩි කර තැබුවා. එදා දවසේ අපට කන්න බොන්න කිසිම දෙයක් දුන්නේ නැහැ. පැනඩොල් පෙත්ත ගානේ විතරක් දුන්නා. එදා රැත් අපි මේස යටට වෙලා හිටියා. එසේ සිටින විට උසස් නිලධාරියෙකු අපි සිටි තැනට ආවා. ඔහු එම නිලධාරීන්ගෙන් මොවුන් කවුද කියා විමසා සිටියා. එවිට එම නිලධාරීන් කිව්වා සර් මේ අර සාජන් මේජර්ගේ කේස් එකේ එවුන්. මෙතන හරක් හොරෙකුත් ඉන්නවා කියා කිව්ව බවත් ප්‍රකාශ කර සිටිමි,“ යි රංජිත් සුමංගලගේ පෙත්සමේ සඳහන් වෙයි.

එවක පොලිස් අධිකාරි නිලයක් දැරූ දේශබන්දු තෙන්නකෝන් ලිංගික හිංසන කළ ආකාරය පෙත්සම් කරු විස්තර කර ඇත්තේ පහත අයුරිනි.

“එවිට එම නිලධාරියා අපිව නිරුවත් කොට එකා පිටුපස එකා තියා ත්‍රීවීල් රබර් පටියකින් අපි හතර දෙනාටම ඇග පුරාවටම පහර දුන්නා. එසේ පහර දෙන ගමන් සිද්ධාලේප අපේ ලිංගේන්ද්‍රියවල ගාගන්නා ලෙස අණ කළා. අපි අපහසුවෙන් ගාගත්තා. පසුව ඒ විට ඔහු නැවත නැවතත් පහර දුන් බවත් ප්‍රකාශ කර සිටිමි. දැවිල්ලත් සමග වේදනාවෙන් සිටින ඒ අවස්ථාවේ ඔහුට දුරකථන ඇමතුමක් ආවා. ඔහු කිව්වා මුන්ට ඇඳගන්න දෙන්න එපා. පැය 2 ක් විතර මෙහෙම තියන්න. මම ආයෙත් එනවා කියා ඔහු ගියා. පසුව එහි සිටි නිලධාරියෙකු කිව්වා එයා වෙනදා මිනිස්සුන්ට ගහන කෙනෙක් නෙමෙයි. ඒත් උඹලගේ කරුමෙට තමයි එයත් උඹලට ගැහුවේ කියලා කිව්වා. එම නිලධාරියා පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් නිලධාරියා බව පසුව මම දැනගත් බවත් ප්‍රකාශ කර සිටිමි.”

වගඋත්තරකරුවන්ගේ ප්‍රකාශ පරස්පර බව සැලකිල්ලට ගෙන ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම්කාර රංජිත් සුමංගලගේ ප්‍රකාශය ඔහු සමග අත් අඩංගුවේ වධබන්ධනයට ගොදුරුවූ වෙනත් අයගේ දිවුරුම් ප්‍රකාශවලින්ද, මාතලේ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ජයසේනගේ වාර්තාවෙන්ද සනාථ වන බව පිළිගෙන තිබේ.

Facebook Comments

wedding people