මල්ලීගේ රේඩියෝව

0

අපේ ගෙදරට ඉස්ලේලාම රේඩියෝවකට කියලා ගෙනාවේ පොකට් රේඩියෝ එකකි. ලංකාවට කැසට් රේඩියෝ පැමිනෙන කාලයේදී අප ද කැසට් රේඩියෝ එකක් ඉල්ලා අම්මාටත් තාත්තාටත් මහත් කරදරයක් කෙරැවෙමු. කරදරයෙන් මිදීම සඳහා තාත්තා අපට රේඩියෝව ගෙනත් දුන්නේය. රතු පැහැති හුරැ බුහුටි නැෂනල් පැනසොනික් වර්ගයේ රේඩියෝව අප හිතූ ප්‍රතිඵල ලබා දුන්නේ නැත. කෙටි තරංග සහ මධ්‍යම තරංග පමනක් ඇති රේඩියෝවේ ඇසුනේ රැහුණු සේවය පමනය. එකල රැහුනු සේවයේ විකාශය උදේට පැය තුනකුත්, දහවල් දොලහේ සිට එක දක්වාත් සවස පහේ සිට දහය දක්වාත් පමනි.

එහි විකාශනය වූ වැඩ සටහන් අපට ප්‍රිය කලේ නැත. විශේෂයෙන්ම අප ප්‍රිය කල ගීත එහි නොවුනේය. දෙවැනි සේවයෙහි වඩාත් හොඳ ගීත ඇසිය හැකි බව කවුරැන් හෝ කීවේය. ඇත්තෙන්ම වඩාත් හොඳ ගීත ලෙස අපට ඇසුනේ ෆ්‍රෙඩී සිල්වාගේ විකට ගීත, පැරනි විකට ගීත වැනි සිනහ උපදවන සුලු සින්දුය. ඇන්ටන් ජෝන්ස් ගේ සින්දුද අපට හොඳ සින්දු වූයේ “ආසයි බයයි” බෝට්ටුව නිසාය. එය අපේ ගමේ බෝට්ටුවකි. පෙරලුනේ අපේ ගඟේය. ඒ නිල්වලා ගඟයි. ඇන්ටන් ජෝන්ස් බෝට්ටුවේ ඛේදවාචකය සිංදුවකින් කීවේය.

අපට ඕනෑ ගුවන් විදුලි නාලිකාව දෙවැනි සේවය අපේ රේඩියෝවට ඇහුනේ නැත. සමහර වේලාවට ඇසුනද එය විවිධ භාහිර ශබ්ද සමගය.

දවසක් ලොකු මල්ලී රේඩියෝව ගැලවීය. ඇනවලින් සවිකර තිබූ සියලු දේ ගලවා දැම්මේය. ඒරියලය ගලවා දැම්මේය. කොහෙන්දෝ එකතු කරගත් තව ගැජට් කැබලි කිහිපයක්ද ඔහු අත විය. මේ සියල්ල ඔහු තුනී ලෑල්ලෙන් සෑදු සුරැට්ටු පෙට්ටි පියනක සවි කලේය. වයර් කැබලි කිහිපයකින් එකිනෙක අමුනා දැම්මේය. රේඩියෝවේ ස්පීකරය පරිපථයට සවි කලේය. බැටරි කැබලි දෙකකින් ඔහු සෑදු පරිප‍ථයට විදුලිය ලබා දුන්නේය.

නව නිර්මාණයේ ඒරියලයක් නොවීය. ඒ සඳහා යොදා ගත්තේ අපේ ගමේ පොල් ගස් එකිනෙකට ගැට ගසා ඇති යකඩ කම්බියකි. එසේ පොල් ගස් ගැට ගසන්නේ සුළඟෙන් ආරක්ෂා වීමටයි.

ලොකු මල්ලීගේ රේඩියෝව පොල් ගස් බඳින කම්බියට ගැට ගැසුවේය. ඔහු ස්පීකරයට කන තබාගෙන වයර් කෑලි එහාට මෙහාට කරමින් ශබ්දයක් දෙවැනි සේවය සොයා ගන්නට උත්සාහ කරයි. එකවරම ලොකු අය්යේ මෙන්න දෙවැනි සේවය ඇහෙනවා කියමින් ස්පීකරය මගේ කනේද ගැසුවේය. කිසිවක් ඇසුනේ නැත. ඇසුනු එකම ශබ්දය නම් කම්බිය සුළඟට කම්පනය වීමෙන් ඇතිවන ශබ්දය පමනි. මම ඔහුට කිසිවක් ඇසෙන්නේ නැතැයි කීවෙමි. ඇත්තටම කිසිත් ඇසුනේ නැත. ඔහු අම්මාට කතා කලේය. ස්පීකරය අම්මාගේ කනේ තැබුවේය. වයර් එහාට මෙහාට කරමින් දෙවැනි සේවය ඇසෙන්නෙදැයි ඇසුවේය. අම්මා දෙවැනි සේවය නොව ඇසෙන සිංදුවක්ද කීවාය. මල්ලී එදා දවසේම කම්බියේ එල්ලී දෙවන සේවය ඇසුවේය. මල්ලීටත් අම්මාටත් ඇසුනු දෙවැනි සේවය මට නම් ඇසුනේ නැත. එසේම ඒ රේඩියෝවේ අවසන් දවසද එදා විය. අම්මා ඒගැන කිසිත්ම නොකිවාය.

එක් දිනයෙක අම්මා කෙනෙක් මරණ දඩුවම හිමි වූ පුතුන් දෙදෙනෙකුගේ නඩුවක් භාර දුන්නේය. නඩුව අමාරැ නඩුවෙකි. ඇයට ඒ බව කීවෙමි. අවසානයේ අම්මා එක ඉල්ලීමක් කලාය. එක දරැවෙක් බේරා දෙන්නයැයි කීවාය. ඇගෙන් ඒ කුමන දරැවාදැයි ඇසූකල ඈ කඳුලු පිරි දෙනෙතින් මම කොහොමද මහත්තයෝ ඒක කියන්නේ යැයි පැවසුවාය. ඇයගේ අධිශ්ඨානය වූයේ බේරාදෙන කුමන හෝ දරැවා ඉන් මතුවට වරදක් නොකීරිමට ඉඩක් නොදී රැක ගැනීමයි.

ඒ අම්මලාගේ හැටිය. මාතෘ ප්‍රෙමයේ අලංකාරය එයයි. අපේ අම්මාට මල්ලීගේ රේඩියෝවෙන් මට නොඇසුන දෙවැනි සේවය ඇසෙන්නේත් අනෙක් අම්මා මරණයෙන් ගලවන දරැවා තේරීම නීතිඥයාට පවරන්නේත් අම්මාගේ සෙනෙහස බෙදා වෙන්කිරීමට ඈ අසමත් නිසාය.

උපුල් කුමාරප්පෙරුම

Facebook Comments

wedding people