යාපනයේ සිද්ධාර්තෝත්පත්තිය නොහොත් සිංහල ගැළවුම්කාර සංකීර්ණය

0

අරුලානන්දන් අරුන් හෙවත් අරුන් සිද්ධාර්ත් මයිත්‍රේයන් දැන් දකුණුදිග සිංහල අහසේ දිදුලන තාරකාවකි. විසුවලිංගම් විග්නේස්වරන් ද, රාජවරෝදියම් සම්බන්ධන් ද, ඒබ්‍රහම් සුමන්දිරන් ද, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද, අනන්දි සසීදරන් ද විසින් දෛනිකව ඇතිකළ කණස්සල්ලත්, කෝපයත් සංසිඳවනු පිණිස ධම්ම පදය දෙමළෙන් කියැවූ දෙමළකු හිටි හැටියේ උතුරින් පහළව තිබේ.

නමුත් මේ සටහන ඔහු ගැන නොවේ. ඔහු විසින් තුටු පහටු කරවන සිංහල අධිපති සිතීම ගැන ය.

තුන්වැනි ලෝකයේ සැරිසරන බටහිර සහන සේවා හා ස්වේච්ඡා සංවිධානවල ක්‍රියාධරයන් වෙළාගත් ‘සුදු ගැළවුම්කාර සංකීර්ණයක්’ (white saviour complex) තිබේ. ඒ ගැළවුම්කාර මනෝභාවයට අනුව හාමත් අප්‍රිකානු දරුවන් ද, ආසියාවේ නාගරික දිළින්දන් ද, දකුණු හා මධ්‍යම ඇමරිකාවේ ස්වදේශික ගම්බද දුගීන් ද ගිළීගත් නරකාදියෙන් ඔවුන් ගළවාගත හැක්කේ සුදු මානව හිතවාදයට ය. පීඩිතභාවයේ ගිල්වා දැමූ ජනයාට අවශ්‍ය කුමක්දැයි තීරණය කිරීමෙන් ද, සහනාධාර බෙදීමෙන් ද, ඔවුන් හා ඡායාරූප ගැනීමෙන් ද, ඔවුන්ගේ දරුවන් හා කෙළි සෙල්ලම් කිරීමෙන් ද, ඔවුන් කෙරෙහි අනුකම්පාව පෑමෙන් ද, ඔවුන්ගේ ‘පසුගාමී ආකල්ප හා සමාජ වත් පිළිවෙත්’ වෙනස් කොට ඔවුන්ට ‘ශිෂ්ටත්වය’ ඉගැන්වීමෙන් ද, ඒ ගැන වාර්තා චිත්‍රපට නිපදවීමෙන් ද, ස්වකීය ‘මානව හිතවාදය’ ගැන ස්වයං ප්‍රශංසා ලියා ගැනීමෙන් ද, ඒ වෙනුවෙන් තමන් විසින්ම උපහාර සම්මාන හා තිළිණපත් ප්‍රදානය කරගැනීමෙන් ද මේ කියන ‘ගැළවුම්කාර සංකීර්ණය’ ප්‍රකාශයට පත් කෙරේ.

මේ හා සමානව පසුගිය අවුරුදු දහය තුළ වර්ධනය කෙරුණු සිංහල ගැළවුම්කාර සංකීර්ණයක් ද තිබේ. යට කී සුදු ගැළවුම්කාර සංකීර්ණයෙන් උපුටාගත් සෑහෙන ලක්ෂණ උතුරේ සැරිසරන සිංහල ගැළවුම්කාරයන් විසින් ද අනුයන ආකාරය දකින්නට රිසි නම් සමාජ මාධ්‍ය ජාලා විමසා බැලීම සෑහේ. පළමුවැන්න, බාහිර විජිතවාදී පිළිවෙත්වලින් පැන නගියි. දෙවැන්න, අභ්‍යන්තර විජිතවාදී කල්පනාවන්ගෙන් පැන නගියි. අලුතෙන් සොයාගත් ‘සිංහල – දෙමළ’ සමගිය ගැන උද්වේගයන්ගේ හරිමැද ඇත්තේ මේ කියන ‘ගැළවුම්කාරයන්’ වීමේ සන්තුෂ්ඨියයි. එය, සිංහල ජනයාගේ සද්භාවයත්, ශිෂ්ඨභාවයත්, පුළුල්භාවයත් සිංහලයන්ටම පසක් කර දෙන අතර දෙමළ ජනයාගේ අසරණභාවයත්, පසුගාමීකමත්, පටු කල්පනාවනුත් ගැන අලුත් තතු සිංහලයන්ට හෙළිකර දෙයි.

අරුලානන්දන් අරුන් දැන් සිංහල මැද සාලයටම ගෙනැවිත් ඇත්තේ මේ ගැළවුම්කාරී සන්තුෂ්ඨියයි. පැය එක හමාරකට වැඩි ඔහුගේ සාකච්ඡා ඇසුරෙන්ම පැහැදිලි කරතොත් එය මෙසේ ය: යුද්ධය අවසානයේදී යටත් වූ සියක් සංඛ්‍යාත සටන්කරුවන් ගැන හෝ අවසාන යුද්ධයට පෙර හා පසු කාලයේ අතුරුදහන් වූවන් ගැන ඔහු කිසිත් නොකීවේය. දශක තුනක් තිස්සේ දිවිදුන් දස දහස් සංඛ්‍යාත දෙමළ තරුණ – තරුණියන්ගේ සොහොන් කොත් බිම්බත් කොට, ඒ මත ප්‍රාදේශීය හමුදා මූලස්ථාන හා හමුදා කඳවුරු ඉදිකිරීම ගැන ද ඔහු කිසිත් නොකීවේය. දින 700 ඉක්ම වූ උතුරු – නැගෙනහිර මව්වරුන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ගැන හෝ සිය ගම්බිම් නිදහස් කරගැනීම වෙනුවෙන් නොනැවතී ඇදීයන දින 700කට වැඩි දීර්ඝතම ඉඩම් අරගලය ගැන හෝ ඔහු කතා නොකළේය. උතුරු සහ නැගෙනහිර කලින් කල මුළුදුන් ජන රැළි හා විරෝධතා පෙළපාලි මගින් ඉල්ලා සිටි අපරාධ යුක්තිය ගැන ද ඔහු කිසිත් නොකීවේය. තීව්‍ර හමුදාකරණය ගැන හෝ රාජ්‍ය අනුග්‍රහ යටතේ සිදුවන සිංහල ජනපදකරණය ගැන හෝ අලුතෙන්ම ඉදි කෙරෙන ‘පුරාණ රජමහා විහාර’ පෙරටු කොටගත් බෞද්ධකරණය ගැන හෝ තව දුරටත් පවත්වාගෙන යන අධි ආරක්ෂක කලාප විසින් තිස් වසක් තිස්සේ අවතැන් කොට ඇති කඳවුරුගත ජනයා ගැන හෝ වචනයක් හෝ නොකියන්නට ඔහු ප්‍රවේශම් වූයේය.

නමුත්, ඒ වෙනුවට ඔහු දෙමළ සමාජයේ කුල බෙදීම් ගැන කීවේය. බුදුන් වදාළ දහමේ අමිල බව කීවේය. නමුත් කුල අනුව ව්‍යුහගත සංඝ සංස්ථාව පෙරටුකොටගත් සිංහල බෞද්ධ අධිපතිවාදය ගැන වචනයක් හෝ නොකීවේය. අවිගත් දෙමළ කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වය ගැන කීවේය. සුදු කොඩි ගෙන යටත් වූ පසු මරා දැමූවන් සයනයිඩ් නොකෑවේ ඇයිදැයි ඇසුවේය. යුද්ධයම අපරාධයක් නිසා යුද අපරාධ ගැන කතා කිරීමේ අනර්ථය ගැන කීවේය. උතුරේ දෙමළුන් සිංහල ඉගෙන නොගැනීම ගැනත්, වඩා ජාතිවාදී දෙමළ දේශපාලනය ගැනත් උද්වේගයෙන් කරුණු දැක්වීය. පැය එක හමාරකට වැඩි රූපවාහිනී විකාශන කාලය තුළ ඔහු හැත්තෑ වසක් තිස්සේ දකුණේ රාජ්‍ය ලැගුම්ගත් සාපරාධී සිංහල අධිපතිවාදයේ සුවදායක බුබුලට එක්වරක් හෝ අත නොතැබීමට පරිස්සම් විය.

‘දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්දැයි’ තිස් පස් අවුරුද්දක් තිස්සේ අසන්නට හුරුකළ සමාජයක සදාචාර වැහැරීම වසන් කොට, ආනුභාව සම්පන්න ගැළවුම්කාරයකු වන්නට අධිපතිවාදී සිංහලයාට මැද සාලයටම ඔහු පාරක් කපා දුන්නේය. ඔහු ගැන ආඩම්බර වන්නන් ද, ඔහු ගැන දාරක ප්‍රේමයෙන් ඔත්පල වූවන් ද, ඔහු රටේ නායකයකු වනු දකින්නට දිවා රෑ සිහින දකිනවුන් ද දැන් වැසි වසින්නට පටන්ගෙන ඇත්තේ ගැළවුම්කාරයන් වනු රිසි බඩගිනි සිංහයන්ගේ සුදාගිනි නිවන්නට හැකි දෙමළ යටත්භාවයේ රූපය ඔහු කොළඹටම විත් ඇඳ දුන් නිසා ය. යාපනයෙන් ලැබුණු සිද්ධර්ථ කුමාරෝත්පත්තියේ පහන් පුවත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තරඟයට බෙදාගැනෙන්නේ ඒ අනුව ය.

වීරසිංහම් ආනන්ද සංගරී හා විනායගමූර්ති මුරලිදරන් විසින් කලක් උද්‍යෝගයෙන් පෝෂණය කළ අධිපතිවාදී සන්තුෂ්ඨිය නංවාලනු පිණිස නව නියමුවකු මතුවීමේ ප්‍රීතිජනක වඩදිය රැල්ල තව කෙටි කාලයක් දකුණේ සිංහල පහළ මැද පංතික ජනයාගේ දොරින් දොර රැළි ගැසීමට නියමිත ය. නමුත්, අතුරුදහන් කළ ඥාතීන් ඉල්ලා සිටින මව්පිය – සුතනඹුන්ගේත්, සිය ගම්බිම් නිදහස් කරන මෙන් ඉල්ලා හමුදා කඳවුරු දොරටු අසළ පළිගසන දිළිඳු දෙමළ ගම්වැසියන්ගේත්, විසුණුකළ සොහොන්බිම්වල පහන් දල්වා යුක්තිය නොදැක මියගිය සිය දූ දරුවන් සිහිපත් කරන්නට වසරින් වසර රොද බඳින මව්පිය සේනාවන්ගේත් සයුක්තික කෝපය හා වේදනාවන් ද, තුඟු මිනිස් ගරුත්වය සහිත සමානයන් ලෙස ජීවත්වීමේ සාමූහික දෙමළ අභිලාෂයන් ද ඒ වඩදියෙන් සේදී නොයනු ඇත.

(මෙම ලිපිය 2019 පෙබරවාරි 10 වැනිදා ‘අනිද්දා’ පත්‍රයේ මුල්වරට පළවු ලිපිය JDSLankan වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

රෝහිත භාෂණ අබේවර්ධන

Facebook Comments

wedding people