සමූහ මිනී වලක හඳුනාගැනීම් කටයුතු තවත් කල් යයි

0

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනී වලවල් තුනෙන් එකක් වන මන්නාරමේ තිරුකේතීශ්වරම් සමුහ මිනි වලෙන් ගොඩගත් සිරුරු කොටස් කාල නීර්ණය සදහා යොමු කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වෙමින් පවති.

ඊට හේතුවී ඇත්තේ කලක් අත්හිටුවා තිබූ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අවශ්‍ය නියෝග දීම උසාවියෙන් උසාවියට මාරු වීමයි.

මන්නාරම මහේස්ත්‍රාත්වරයා සැප්තැම්බර් 21 වැනිදා නියෝග කර ඇත්තේ සිරුරු කොටස් කාබන් පරීක්ෂණයට යැවීම සදහා වෙන් කිරීමට අවශ්‍ය නම් එය අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කළ යුතු බවයි.

දැනට අනුරාධපුර රෝහලේ තැන්පත් කර තිබෙන සිරුරු කොටස් මන්නාරමටරැගෙන ඒමේදී ඒවාට හානි සිදු විය හැකි අතර එම සිරුරු කොටස් මන්නාරමට ගෙන ඒමට නියෝග කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවත් අබ්දුල් සමාද් හිබ්දුල්ලා මහේස්ත්‍රාත් පැවැසු බව අධිකරණ වාර්තාකරුවෝ පවසති.

මළ සිරුරු වලින් තෝරා ගත් කොටස් කාබන් පරීක්ෂණයට යැවීමට සැප්තැම්බර් 21 දා නඩුවාරයෙදී මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් තීන්දු කිරීමට නියමිත බව මන්නාරමේ අතුරුදහන් කළවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී.එස්.නිරන්ජන් පසුගිය මාසයේදී ප්‍රකාශ කර තිබුනි.

නඩු විභාගය යළි නොවැම්බර් 24 වැනිදා කැදවීමට නියමිතය.

මන්නාරම – සංගුප්පිඩි ඒ 32 මාර්ගයේ ජලනළ එලීමට පළමු රාජපක්ෂ පාලන සමයේ කරන ලද කැනීම් වලදී මල සිරුරු කොටස් 82 ක් සොයා ගැනීම සමගින් ඇරඹි විමර්ශන වසර නමයක කාලයක් තිස්සේ අත්හිටවනු ලැබුවේ එය පැරණි සොහොන් බිමක් යන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ කියා සිටීමත් නිසාය.

2013 දෙසැම්බරයේ දී තිරුකේතීස්රම් කෝවිල අසල මාස දෙකක් පමණ කැනීම් කිරීමෙන් පසු එවකට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් සෙනරත් දිසානායක අධිකරණයට කියා සිටියේ මෙය සමුහ මිනී වළක් නොවන බවකි. 1953 වසරට පෙර පැවති සොහොන් බිමක් බවට ඔහුගේ කරුණු දැක්වීමත් සමගින් මෙහි විමර්ශන නවතා දැමිණි.

එහෙත් එම තීන්දුව එලෙසින්ම බාර ගැනීමට සුදානම් නොවුණු සිය සමීපතමයන් අහිමි වූ ඥාතින් හා මාපියන් උසාවිය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව 2014 මාර්තු 16 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා ආශිර්වාදන් නියෝග කර සිටියේ නැවත කැනීම් අරඹන ලෙසයි.

කැනීම් වලට හා අස්ථි කොටස් පරික්ෂාවට අදාළ රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ ප්‍රමාණවත් මැදිහත් නොවීම හේතුවෙන් මෙහි විමර්ශන අඩාල වී ඇත.

බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුණු සිය ආදරණීයයන් මෙහි වල දමා ඇති බවට සැක කරන මාපියන් ඇතුළු මාපියන්ගේ අනවරත අරගලය හේතුවෙන් වසර නවයකට අත්හිටවා තිබු මන්නාරමේ තිරුකේතීශ්වරම් සමුහ මිනී වලේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමට අවස්ථාව උදා වී ඇති බව නීතිඥ නිරන්ජන් වැඩි දුරටත් පවසයි.

තිරුකේතීස්වරමේ ඇත්තේ දැනට කැනීම් නවතා ඇති ශ්‍රී ලංකාවේ හමුවූ විශාලතම සමූහ මිනී වලවල් තුනෙන් එකකි. ඇට සැකිලි 300 කට වැඩි ප්‍රමාණයක් ගොඩගත් මන්නාරමේ සතොස සමූහ මිනී වල විශාලතම එකය. ඊළඟට ඇත්තේ 2012 දී අවම වශයෙන් සිරුරු 154 ක් සොයාගත් මාතලේ සමූහ මිනී වලයි.

Facebook Comments

wedding people