යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වන්නියෙන් වසරකට ඉහත දී අහඹු ලෙස හමුවු සමුහ මිනිවලෙන් මිනිස් ඇට සැකිලි පනහකට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැනිමෙන් අනතුරුව කැනීම් කටයුතු අවසන් කර තිබේ.
ජුලි 04 වැනිදා ආරම්භ කළ තුන්වැනි අදියරේ කැනීම් කටයුතු ජුලි 15 වැනිදා දක්වා දින දහයක් තිස්සේ සිදු කළ අතර එම කාලය තුලදී ගොඩ ගත් සම්පුර්ණ මිනිස් ඇට සැකිලි ගණන 12 කි.
සමුහ සුසානයේ කැනීම් කටයුතු හමාර වීමෙන් අනතුරුව සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව වන්නි මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේ මේ දක්වා කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන ඇති බවයි.
“කොක්කුතොඩුවායි සමුහ මිනි වලේ තුන්වැනි අදියරේ කැණීම් කටයුතු දසවැනි දිනටත් සිදු උනා. අදට බොහෝ විට, මේ සමුහ මිනි වලේ තිබිච්ච මිනිස් ඇටසැකිලි සියල්ල ගොඩ අරගෙන ඉවරයි. මේ වන විට මිනිස් ඇටසැකිලි 52 ක් ගොඩ අරන් තියනවා. එමෙන්ම අද පතොරම් සහ යතුරු කැරැල්ලක් සාක්ෂි වශයෙන් ගොඩ ගත්තා. ඉදිරි දින වලදි මේ මිනී වලට අදාල අධිකරණ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙනවා.”
සමුහ සුසානය කෝකිලායි, මුලතිව් ප්‍රධාන මාර්ගය හරහාද ව්‍යාප්ත වී ඇති බව අනාවරණය වීමත් සමග එහි කැනීම් කටයුතු 2023 නොවැම්බර් මාසයේ දී තාවකාලිකව නවතා දැමීමට තිරණය කරන විට කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි. ඒ සිරුරු එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන්ගේ බවට සැක කෙරෙන සාක්ෂි කිහිපයක් ද වේ.
කොක්කුතොඩුවායි විමර්ශනයට පුරෝගාමී වී සිටින වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් 2024 මාර්තු මාසයේ අධිකරණයට දැනුම් දී තිබුනේ සමූහ මිනීවලෙන් ගොඩගන්නා ලද අස්ථි කොටස් අනූව දශකය මැද භාගයේ අවිධිමත් ලෙස වල දමන ලද විමුක්ති කොටි සාමාජිකයන්ගේ බවයි.
ඔවුන් නිසැකයෙන්ම වෙඩි පහරින් මියගොස් ඇති බව ඔහුගේ පිළිගැනීමයි.
කැනීම් සිදුකළ කොක්කුතොඩුවායි සමූහ සුසානයේ මිහිදන් කර ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ සිරුරු දැයි සැකහැර දැනගැනීම සඳහා අවශ්‍ය ජීව විද්‍යාත්මක දත්ත අවසන් අදියරේදී රැස්කරගන්නා ලද බව හෙලිකළ සිරුරු ගොඩගැනීම මෙහෙයවු මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය කනගසභාපති වාසුදේව ප්‍රකාශ කරන්නේ ජුලි මස මුල් සතියේ නැවත කැනීම් ආරම්භ කිරීමෙන් අනතුරුව ගොඩගන්නා ලද හිස්කබල්වලින් DNA විශ්ලේෂණ සඳහා යොදා ගත හැකි පරිදි දත් ගලවා ගබඩා කරන ලද බවයි.
කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි අගදී මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කැබලි අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.