ප්‍රබන්ධ සත්‍ය බව මගේ විශ්වාසයයි – අරුන්දතී රෝයි

0

‘කුඩාවියේදී අපිට මේ වෙන්නේ මොකක්ද කියලා මා කවදාවත් දැනගෙන හිටියේ නැහැ. ඒත් තරමක අස්ථිර තත්ත්වයක්. මාව හැදුවේ, කඩා බිඳදැම්මේ ආයේ ආයේමත් මාව හැදුවේ මගේ මමවයි. ඒවගේම, මගේ ජීවිතයට දැඩි බලපෑමක් කරපු මූලික බලවේගය වුණෙත් ඇයයි. මට අවුරුදු 20 වනතුරු කවදාවත් මගේ පියාව හැබෑවට දැකලා තිබුණේ නැහැ. මා හැදී වැඩුණේ තාත්තෙකුගේ ආදරය නැතිවයි. මං පිරිමින්ට ආදරෙයි, හැබැයි කිසිම විටක ඔවුන්ගේ කෙනෙහිලිකම් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මගේ ජීවිතේ නිදහස්ම කාලය ගෘහ නිර්මාණ ශිල්පය ගැන ඉගෙනගන්නා සමය. විවාහ ජීවිතයකට කොටු නොවී වයස අවුරුදු 17 දී මගේ පෙම්වතා ජෙරාඩ් සමග එකට ජීවත්වුණා. මේ ජීවිතයේ තිබ්බේ යාළුවෝ, මත්පැන් හා මත්වී සංගීතයට සවන්දීම විතරයි. ගෝවට ගිහිං ආයෙමත් මේ හිපි ජීවිතය ගතකළා. මේ වසර 6 – 7 ක කාලයක් පවුලේ අයගෙන් දුරස්වුණු ජීවිතයක් ගතකළා. කොහොමටවත්, ඒ ජීවිතයට කිසිම අරමුණක් තිබුණේ නැහැ. මට වුවමනා වුණේ ඔහේ ජීවත්වෙන්න විතරයි. නමුත්, ලේඛිකාවක් විය යුතු නිසා මගේ පෙම්වතා අතහැර දමලා නැවතත් දිල්ලියට ආවා. සිනමා නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ, ඒවගේම පසුකලෙක මගේ සැමියා වුණු සිනමා නිර්මාණකරුවෙකු වෙන ප්‍රදීප් ක්‍රිෂණ්ව හමුවෙන්නේ ඊට පස්සේ.‘

බොහෝ දෙනෙක් ඇයව හඳුනන්නේ සිය පළමු නවකතාව වූ TheGodofSmallThings වෙනුවෙන් 1997 දී Booker සම්මානය හිමිකරගත් ලේඛිකාව ලෙසයි. ඇය අරුන්දතී රෝයි. සිය පළමු කෘතිය පළකර වසර 20 කට පසුව, එළඹෙන ජූනි මස 6 වැනිදා ඇය නැවතත් සිය ප්‍රබන්ධ රචනාවක් දොරට වැඩමවීමට නියමිතයි. ඒ TheMinistryofUtmostHappiness කෘතියයි.

‘මේ කෘතියේ චරිත සමගින් වසර 10 කට ආසන්න කාලයක් මා ගතකළා. ඒ කාලය තුළදී මේ චරිත, මගේම අනන්‍යතාවය සමග වගේම ලිංගිකත්වය, ජාතිකත්වය, විශ්වාසය, පවුල, මව්වත්කම, මරණය හා ආදරය පවත්වාගැනීම ආදියට කුමන්ත්‍රණයක යෙදී තිබෙනවා. ඒ වගේම, මේ එක් එක් චරිත ආරක්ෂා සහිත තැනක් හා ආදරය සොයායන අයුරින් නිර්මාණය වී තිබෙනවා.‘ යැයි The Ministry of Utmost Happiness පිළිබඳ සඳහන් කරමින් අරුන්දතී රෝයි පවසන්නීය. ‘උමතුආත්මයන්‘ ලෙස රෝයි මෙහි එන චරිත නම්කර ඇත.

The God of Small Things කෘතියෙන් පසුව අරුන්දතී රෝයිගේ මීළඟ නිර්මාණය කුමක්වනු ඇත්දැයි ඇගේ රසික පිරිස් බලා සිටියද ඇය විසි වසක් නවකතාකරණයෙන් ඈත්වී සිටියාය. නමුත්, ඇය නිහඬව නොසිටියාය.‘මම එක දිගට පෝළිමට පොත් ලියන කෙනෙක් නෙමෙයි. හැබැයි බුකර් සම්මානය දිනාගත්තට පස්සේ හැම සඟරාවකම මගේ මූණ පේන්න ගත්තා. මේ කාලයේදීම අපේ රජය න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් කළා. ඊට විරෝධය පා මා ලිපි ලිව්වා. නොලියා සිටින්නට නොහැකි නිසා ඒ ගැන ලිව්වා.‘ අරුන්දතී රෝයි සිය නවකතාකරණයෙන් දුරස් වී සිටි විසි වසරක කාලය ගැන සිහිපත් කරන්නේ එලෙසිනි.

මෙරට පැවති යුද්ධයෙන් අනතුරුව දමිළ පිරිස් කඳවුරු වල තබා සිටීම විවේචනය කළ ඇය මේ පිරිස් සමූල ඝාතනයට ලක්වීමේ අවධානමක් ඇති බව ‘ද ගාර්ඩියන්‘ වෙත 2009 වසරේදී අදහස් දක්වමින් පැවසුවාය. එමෙන්ම, කාශ්මීරය ඉන්දියාවෙන් වෙන්විය යුතු බව අරුන්දතීගේ විශ්වාසය වූ අතර ඒ වෙනුවෙන් පක්ෂව ‘ටයිම්ස්ඔෆ්ඉන්දියා‘ වෙත 2008 දී ඇය අදහස් දැක්වූවාය. ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයේ බෝම්බ දැමීමට විරුද්ධව ද ඇය සිය හඬ අවදිකළාය. දේශපාලන බලය හා බලය නැතිකම මෙහිදී ඇගේ අවධානයට ලක්වූ තේමාවන් විය. මීට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකාව ප්‍රමුඛ කරගත් මාධ්‍ය අරුන්දතී රෝයිගේ ප්‍රබන්ධ නොවන ලේඛන මඟහරින විට යුරෝපීය මාධ්‍යයන් විසින් රෝයිගේ දේශපාලන මතය නිදහසේ එළිදැක්විය හැකි අවස්ථාවන් තව තවත් සලසාදෙනු ලැබුණි. LeMonde හා TheGuardian වැනි ජාත්‍යන්තර පුවත්පත් එහිලා ප්‍රධාන වේ. එතෙක් කාලයක් බුකර් සම්මානය දිනාගත් ලේඛිකාව ලෙස ලොවක් දැන සිටි ඇය දේශපාලන ක්‍රියාකාරිනියක, මානව හිමිකම් වෙනුවෙන් හඬ නගන්නියක හා පාරිසරික අර්බුද වලදී උපදේශිකාවක් බවට ද පත්වන්නේ එලෙසිනි.

කෙසේවුවත්, The God of Small Things කෘතිය සල්මන් රුෂ්ඩි, ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් හා වී. එස්. නායිපෝල්ගේ නිර්මාණ සමග සම තත්වයෙහිලා තැබිය හැකි බව විචාරක විශ්වාසයයි. බංග්ලාදේශ ලේඛිකාවක හා මහාචාර්යවරියක වන FarhanaZareenBashar රෝයිගේ ලේඛන ශෛලිය පිළිබඳ පවසන්නේ ‘මැජික්යථාර්තවාදී ශෛලිය ඔස්සේ අප කෙදිනකවත් නොදැන සිටි යථාර්තය පිළිබඳ නව මානයක් සිය නිර්මාණය තුළ මවා තිබෙනවා. මේ සාහිත්‍යය ශෛලියේ විහිදීම පශ්චාත් කොළණිකරණයේ තත්ත්වයක් දිහාවට ගෙනගිය කැරැල්ලක් ලෙස ද දැකගත හැකියි‘ යන්නයි.

පසුගිය විසිවස තුළ ඇය රචනා කළ කෘතීන් කිහිපයක් ගැන විස්තර මෙසේය. ThingsthatCanandCannotBeSaid (2014). රංගන ශිල්පියෙකු හා සිනමා නිර්මාණකරුවෙකු වන JohnCusack, අරුන්දතී රෝයි හා සමාජ ක්‍රියාකාරකයෙකු වන DanielEllsberg ඇතුළු පිරිස EdwardSnowden හමුවී මොස්කව් හිදී සිදුකළ සාකච්ඡාවන් මීට ඇතුළත්ය. බලය, පරීක්ෂණ වල බලපෑම ආදිය මේ සංවාද වල මූලික තේමාව බවට පත්වී ඇත.

FieldNotesonDemocracy ලිපි මාලාවක එකතුවක් වන අතර ජාතිකත්වයේ නැගී ඒම, ආගමික සුළුතරය ගෙනගිය ප්‍රජාපීඩනය, ඉන්දියාව තුළ පවතින නව ෆැසිස්ට්වාදය ආදිය නිසා නිර්මාණය වී ඇති ප්‍රශ්න මෙහිදී අවධානයට ලක්කර ඇත.

CapitalismAGhostStory ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින විරූපී සහගත බව මේ කෘතිය තුළ සියුම් ලෙස පරීක්ෂා කර ඇත. TheEndofImagination පොත් පහක එකතුවක් වන අතර ජීවන වියදමේ සිට ඉන්දියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදාබැලීම්, දේශපාලන බල අරගලය හා යුද්ධය ආදී තේමාවන් ගැන මෙහිදී අවධානය යොමුකර ඇත.

නවකතාකරණයේ සිය විසිවසක නිහැඬියාව බිඳීමට සූදානම් වන අරුන්දතී රෝයිගෙන් මෙතෙක් කල් නවකතාවෙන් දුරස් වී සිටියේ ඇයි දැයි හා ප්‍රබන්ධ හා නවකතා අතර පවතින වෙනස ගැන බීබීසීය විමසූ විට ලබාදුන් පිළිතුරෙන් මේ සටහන නිමාකරන්නම්. ‘ප්‍රබන්ධ ලියන විට හා දේශපාලන රචනාවන් කරන විට ඒ දෙක මගේ ඇඟට දැනෙන්නේ දෙවිදියකට. ඒක පොතකට වඩා විවිධ මට්ටම් වලින් තියෙන කන්දක් වගෙයි. ප්‍රබන්ධ ලියද්දි මටම සමහර වෙලාවට හිතාගන්න බැහැ මේ මම ලියනවද ? නැත්නම් මගේ අවධානය ඔහේ යොමුකරගෙන ඉන්නවාද කියලා. නමුත් දේශපාලන රචනාවක් කරද්දි මම මටම පොරොන්දු වෙන්නේ ආයේමම මේක කරන්නේ නැහැ කියලා වුණත් අවශ්‍ය යැයි හැඟුණු අවස්ථාවලදී හඬ අවදිකරන්න පෙළඹුණා. කොහොම වුණත්, ප්‍රබන්ධ සත්‍ය බව මගේ විශ්වාසයයි.‘

වින්ද්‍යා ගම්ලත්

Facebook Comments

wedding people